හෙට ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයේ  කොවිඩ් ආසාදිත සිසුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ආරම්භ වීමට නියමිතව තිබේ.පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති  විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා තවදුරටත්  සඳහන් කරයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4,513ක්, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ඔස්සේ විභාගය ක්‍රියාත්මක වේ. කොවිඩ් -19 වසංගත තත්ත්වය මත දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකට ම අවම වශයෙන් මධ්‍යස්ථාන 2 බැගින් මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ආසාදිත වු දරුවන් සඳහා එම විශේෂ මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර තිබේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.