සරල බදු ක්‍රමයකට පනත් කිහිපයක සංශෝධනයක්.

ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල විනිවිදභාවයකින්යුතු  හා කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා බදු පනත්  කිහිපයක් සංශෝධනය කිරීමටත්, එම පනත් රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ,කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව , 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත, 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, 2018 අංක 35 දරන මුදල් පනත රජයේ ගැසට් පත්‍රයේ  පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

එමෙන්ම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත,2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ඉදිරිපත් කරන ලද යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති ඇමැති සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල  මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ ආර්ථික පුනර්ජීවයට අත්‍යවශය කරුණු කිහිපයක් ඇතුළුව සරල බදු ක්‍රමයක් රටට හඳුන්වා දීමට රජය කටයුතු කර ඇති බවයි.