සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනගිය කාන්තාවක් අත්අඩංගුවට

ලෝකය පුරා ව්‍යසන තත්ත්වයක් පවතින මේ මොහොතේ ශ්‍රි ලංකාවටද එය දැඩිව බලපා ඇති ආකාරය පිළිබඳ සබුද්ධික ජනතාවට අමුතුවෙන් කිවයුතු නොවේ.මෙම තත්ත්වය අතරතුර රෝගය පාලනය කිරීම සඳහා විවිධ අංශ තම උපරිම සේවාව මේ මොහොතේ ඉටුකොට සිටී
නමුත් වගකීම් විරහිත ඇතැම් පිරිස් මේ මොහොතේ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහරිමින් හුදු වින්දනයක් ලබමින් සිටිති.
අසත්‍ය ප්‍රචාර පතුරුවාලීම නොකරන ලෙසට ආරක්ෂක අංශ විටින් විට වගකිවයුතු මාධ්‍ය හරහා පුරවැසියන් දැනුම්වත් කලද ඇතැමුම් තම අත්තනෝමතික ක්‍රියාවල තවදුරටත් යෙදී සිටීම කණගාටුදායක කාරණාවකි.

මෙලෙස සමාජ ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොවිඩ් 19 කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇය මෙලෙස අසත්‍ය ප්‍රචාරය කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයක් අනුව ඊයේ(05) දින වාද්දුව ප්‍රදේශයේ දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය ඊයේ දිනම කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එමෙන්ම අන්තර් ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන අය ද අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

මේ මොහොතේ අප වෙනදාට වඩා වගකීමක් ඇතුව සහ හික්මීමෙන් බුද්ධිමත්ව සමාජ මාධ්‍ය භාවිත කළයුතු මොහොතකි.එය වගකීම්සහගත පුරවැසියකුගේ සමාජීය යුතුකමකි.