සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළට

කන්දකාඩු කොරෝනා පොකුරෙන් මේ වන විට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 519 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත

ඉන් 419 කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් වන අතර 11 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

ඉන් 63 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් බව හමුදාපතිවරයා සඳහන් ක‍රයි.

මීට අමතරව තවත් 16 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එසේම මෙරටින් වාර්තා වන නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (13) දිනයේ දී අලුතින් හඳුනාගැණුනු නව ආසාදිතයින් 29 දෙනා ද සමග ය.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය 14 දෙනෙක්, සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11 දෙනෙක්, රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගැණුනි.

මේ වන විට රෝගීන් 654 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදීමෙන් මෙරට පූර්ණ සුවය ලැබු ගණන 1981ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රෝගය පැතිර යා හැකි බවට ප්‍රාදේශීය වශයෙන් හදුනාගත් කුඩා ප්‍රදේශ හුදකලා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එසේ නොමැතිවුවහොත් කොවිඩ් නයින්ටීන් වසංගත යම් කිසි දිස්ත්‍රික්කයක් පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙයි.