සංචරණ සීමා උල්ලංඝනය කරන අයට දැඩි දඬුවම්.

හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් අද (13) දිනයේ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හුදකලා කරඇති ප්‍රදේශයක සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළව ඊයේ දිනයේද  පුද්ගලයන්  15 දෙනෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

පොලීසිය සහ ගුවන් හමුදාව එක්ව මෝදර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව, ඔවුන්ට ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අද දිනයේදී හුදෙකලා කරඇති ප්‍රදේශවල සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

එසේම මේ වනවිට බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට යෑම තහනම් කර ඇති අතර එම තහනම ඉරිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක ය.

මේ අතර අද දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස් සොයා පොලිස් බුද්ධි මෙහෙයුමක් ද ආරම්භ කෙරිණි.