සංචරණ සීමා ඉවත් කළ ප්‍රදේශ පිළිබඳ

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව යන පොලිස් වසම් මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා තත්ත්වයෙන් ඉවත්කර තිබේ.

කෙසේවුවද මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

එමෙන්ම වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 05.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, කැලණිය සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගෙන තිබේ.

දුම්රිය ගමන් වාරද අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන අතර දැනට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.