ශ්‍රී ලංකාවේ ආසාදිතයන් 835 ලෝකයේම රෝගීන් හතළිස් ලක්ෂ දසදහස් හයසිය පනස් තුනයි.

ඊයේ දිනය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අයි.ඩී.එච්, ඉරණවිල සහ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන් ඇසුරු කළ 400ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට දිවයින් පුරා රෝහල්වල පුද්ගලයින් 586 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබේ.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150ක් වෙයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 35 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු ලෙස කොවිඩ් 19 ආසාදිතයින් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර කොවිඩ් 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවා තිබේ.

වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් ලක්ෂ දසදහස් හයසිය පනස් තුනකි.