විස්ස ගැන ආණ්ඩුව එක මතයක.

විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සියලු පාර්ශ්ව එක මතයක සිට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (29)  පුවත්පත් කතුවරුන්ගේ සාකච්ඡාවට එක් වෙමින් පැවසීය.

එම නිසා විසි වැනි සංශෝධනයට කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම හමුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

20 වැනි සංශෝධනය අධ්‍යයනයට ඒ ඒ පක්ෂ කමිටු පත් කැර තිබෙන බවත් ඒ සඳහා එම පක්ෂවලට අයිතියක් ඇති බවත් පැවැසු රාජපක්ෂ මහතා, අවසානයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කැර 20 සම්බන්ධයෙන් එක මතයකට පැමිණෙන බවත් ප්‍රකාශ කළේය.

විසි වැනි සංශෝධනයෙන් පසු අගමැති තනතුර කිසි විටෙක නාමික නොවන බව පැවැසු අගමැතිවරයා, කවුරු කුමන ප්‍රකාශ කළත් ස්ථිර ලෙසම ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ජනතාව ලබා දී තිබෙන බැවින් විසිවැනි සංශෝධනය ගැන සැකයක් තබා ගත යුතු නැතැයි ද ප්‍රකාශ කළේය.