විල්පත්තු පරිවාර රක්ෂිතය වවන්න රිෂාඩ්ට රුපියල් මිලියන දහසක් ගෙවන්න නිර්දේශය.

විල්පත්තු පරිවාර රක්ෂිතයේ නැවත වන වගාව සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක්  ගෙවිය යුතු බව වන විනාශය සම්බන්ධයෙන් සොයා බලන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර ඇත.

වසර 5කට ආසන්න කාලයක් විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2020 නොවැම්බර් 16 වැනි දා අභියාචනාධිකරණය කියා සිටියේ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවය.

එමෙන්ම එළි පෙහෙළි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වන වගාව සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් විය.