විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර අද නම් කෙරේ

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා අද (20) දිනයේදී මන්ත්‍රීවරයකු නම් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය ඇතුල් කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයට රැස්ව අද (20) දිනයේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ඒ මහතා සදහන් කරයි.

පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරු ඇතුළු පිරිසක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා යෝජනා වී ඇතැයි පවසන මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කොළඹ දී වැඩමුළුවක් පැවැති බවද කීවේය.