වාහන නිල නිවාස බාර නොදුන් මැති ඇමැතිවරු ලැයිස්තුව හෙළි කරයි.

පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමැති, නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ඇමැති යන තනතුරු දැරූ 22 දෙදෙනෙකු රජයේ නිල නිවාස මෙතෙක් භාරනොදීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අදහස් කරන බවට කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති, ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ කීවේය.

එළැඹෙන 11 වැනිදායින් පසු මෙලෙස නඩු පැවරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

මීට අමතරව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ හිටපු ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ද භාවිත කළ නිල නිවාස මෙතෙක් භාරනොදීම නිසා ඔවුන්ට එරෙහිවද නඩු පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සදහන් කළේය.

පැවැති යහපාලන ආණ්ඩුවේ සහ ජාතික ආණ්ඩුවේ විවිධ තනතුරු දෑරු අදාල පිරිසට එම නිවාස යළි භාරදෙන්නැයි අවසන් නිවේදන සිදුකළත් ඔවුන් මේ වනවිටත් අදාල නිවාස භාවිත කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි.

ඒ අනුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු ඇමැති රාවුෆ් හකීම් , රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඔවුන්ගේ නිල නිවාස මෙතෙක් භාර දී නැති අතර කොළඹ කැප්පෙටිපොල පාරේ පිහිටි අබ්දුල් හලීම්,චන්ද්‍රානි බණ්ඩාර,ලක්ෂ්මන් සෙනෙවිරත්න,අමීර් අලී සහ ෆයිසර් මුස්තාපා යන හිටපු ඇමැතිවරුන්ද නිල නිවාස භාර දී නැතැයි වාර්තා වෙයි.

මීට අමතරව පැවැති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති ධුර දැරූ එඩ්වඩ් ගුණසේකර සහ නලීන් බණ්ඩාර යන මහත්වරුන්ද ඔවුන් භාවිත කළ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවාස, චන්දිම වීරක්කොඩි සහ ටී.බී.ඒකානායක යන මහත්වරුන් කොළඹ 07,විජේරාම මාවතේ පිහිටි නිල නිවාසත් , හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකු වන ජේ.සී.අලවතුවල මහතා කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටි නිවාසය මේ වනවිටත් භාවිත කරන බවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම කොළඹ,ලෝරිස් නිවාස සංකීර්ණයේ ඇති නිල නිවාස භාවිත කළ අශෝක් අබේසිංහ,චම්පිකා ප්‍රේමදාස,වඩිවෙල් සුරේෂ්,සෙල්වම් අඩෛක්කලනාදන් ,එච්.එම්.එම්.හාරීස් ,ෆයිසාල් කාසීම්,දුනේෂ් ගන්කන්ද සහ දුලිප් විජේසේකර යන මහත්වරුන්ද මෙතෙක් ඔවුන් භාවිත කළ නිවාස භාර දී නැති බවත් පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමැති ධූරය දරන අවස්ථාවේදී වෙන් කෙරුණු කැප්පෙටිපොල පාරේ ඇති නිවස මේවනවිටත් එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා භාවිත කරන බවත් වාර්තා වෙයි.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරය දැරූ ජගත් පුෂ්පකුමාර මහතා භාවිත කළ කොළඹ,විජේරාම මාවතේ නිවසද ඔහු මෙතෙක් භාර දී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

උපුටාගැනීම – දිනමිණ වෙබ්