රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැහැ.ජනපති කියයි

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැති බවත් කළ යුත්තේ එම ආයතන දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

එම රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහඩිය හෙළමින් වෙහෙසව වැඩ කරන ජනතාව උපයන ආදායමෙන් බැවින් එම ජනතාවට බරක් නොවන අයුරින් පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමඟ ඊයේ(18) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කරුණු කියා සිටියේය.

සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායින් අපේක්ෂා නොකරන බව පවසන ජනාධිපතිවරයා සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළයුතු බව පෙන්වා දුන්නේය. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල සේම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි බලවත් පරිහානියක් ඇතිව තිබෙන බවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වී ඇති හෙයින් ආයතන ප්‍රධානීන් රට ගැන සිතා වැඩ කළ යුතු බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

එසේ නොකළහොත් ආයතන කඩාවැටීමට පවා හැකි බැවින් මෙම අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සඳහා ද රාජ්‍ය ආයතන සැලසුම් සහගතව ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරනු පිණිස සාකච්ඡාව කැඳවා තිබිණ. සිය ශ්‍රාවක ප්‍රජාව කවුරුන්දැයි නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් ජනප්‍රිය වැඩසටහන් සම්පාදනය කරන ලෙසත්, නිසි සැලැස්මක් ඇතිව ආදායම් උපයා ගැනීමට කැපවීමෙන් ක්‍රියාකරන ලෙසත් ජනාධිපතිතුමා සංස්ථා ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දුන්නේය.

ආයතනය පත්ව ඇති තත්ත්වය ගැන සේවකයන් නිරතුරුව දැනුවත් කරන්න. තමන් ගැනම නොසිතා ආයතනයේ දියුණුව සඳහා වෙහෙසී වැඩ කිරීමට ඔවුන් පොළඹවන්න යැයිද රාජපක්ෂ මහතා කීවේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.