රණවිරුවන් පීඩනයට පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස අද(19) පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ සඳහන් කළේය.

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල අභිමානවත්ව පැවැත්විණි.

යුද හමුදාවේ වසර 20ක් සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු, දස වසරක් ආරක්ෂක ලේකම්වරයෙකු සහ පුරවැසියෙකු ලෙසත් රණවිරුවන් කළ කැපකිරීම් පිළිබඳව තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි රාජපක්ෂ මහතා පැවසීය.

යුද්දයේ වේදනාව තමා හොඳින් හඳුනන බැවින් විශාල පරිත්‍යාගයක් කළ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් නොතබන බව ද එතුමා කීය.