රට වසා දැමීමේ තත්වටක් නැහැ .විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙන් අලුතින් නිර්මාණය වී ඇති කොවිඩ්19 වෛරසය ආසාදියන් පොකුර හේතුවෙන් රට වසා දැමීමේ තත්ත්වයක් උදා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා රෝගීන්ගේ සත්‍ය තොරතුරු කිසිදු විටක රජය මඟින් වසන් කිරීමක් සිදු නොකරන බවත් එසේ වසන් කිරීමෙන් කිසිදු යහපතක් රජයටවත්, ජනතාවටවත් සිදු නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් වයිරස් පොකුරෙන් ආසාදිතයන් 532ක් වාර්තා වී ඇති අතර, ඉන් 25ක්ම නිලධාරීන් වන්නේ යැයි ද, එම පොකුර ආශ්‍රිතව මේ වන විට 3000ක් පමණ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවැසුවේය.

පුද්ගලයන් 12000ක් පමණ ජීවත් වන රාජාංගණය ප්‍රදේශයේ කොරෝනා වයිරසය තවදුරටත් පැතිර යාම වළක්වමින් තාවකාලිකව එම ප්‍රදේශය හුදෙකලා කර ඇති බවත්, සෙසු ප්‍රදේශවල වෛරසය ව්‍යාප්තිය මේ වන විට පාලනය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය. කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු සමාජයේ පැතිර යමින් පවතින බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල නොවී තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වඩාත් වැදගත් වන බවත් ඔහු පැවසීය.

කොවිඩ් 19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට PCR පරීක්ෂණ 130,000ක් රට තුළ සිදුකර ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.