රට නිදහස් කරගැනීමේ ප්‍රතිඵලය අද සැවොම භුක්ති විඳිනවා. අගමැතිවරයා කියයි.

රාජ්‍ය නායකයා වශයෙන් මඩු මංගල්‍යයට සහභාගි වන්නේ නම් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අවසර ගැනීමට අවශ්‍ය යුගයක් පැවැති බවත්  මේ රටේ සෑම තැනකටම නිදහසේ යෑමට හැකි යුගයක් නිර්මාණය කොට තමා මඩු පල්ලියට පැමිණෙන බවට පැහැදිලිවම පැවසූ බවද රට නිදහස් කරගැනීමේ ප්‍රතිඵලය අද අප භුක්ති විඳින බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අගමැතිවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය “තම්බපවනී” ජාතියට දායාද කිරීම වෙනුවෙන් මන්නාරම දී ඊයේ (08) පැවැති උත්සවය අමතමිනි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය වන අතර මෙමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක්වන ධාරිතාවය මෙගාවොට් 103.5 ක් වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කි. මේ තුළින් වාර්ෂිකව ගිගාවොට් පැය 400 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකියාව ලැබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ 2005 වසරේ දී තමා බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 65 කට පමණක් විදුලිය තිබුණු නමුත් 2015 වනවිට ජනගහනයෙන් සියයට 98 කට විදුලිය ලබාදෙන්න හැකිවු බවත් ඒ නිසාම නගරයේ මෙන්ම ගමේ නිවෙසේත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් නිර්මාණය කළ බවත්ය. ඕනෑම පුද්ගලයෙක් ත්‍රස්තවාදී අනතුරක් නොමැති ආරක්ෂිත රටක ජීවත් වෙන්න කැමැත්තක් දක්වන අතර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනවාට කැමැති බවද ඒ ගැන කල්පනා කළ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහා මැතිවරණයේ දී ඉහළම ජනවරම තම පක්ෂයට ලබාදුන් බවද සදහන් කළ අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය තුළින් ජනතා අපේක්ෂාවන් ඉටුකරන්න සූදානම් බවද පැවසීය.