යුක්රේන සංචාරකයන්ගෙන් ලක්ෂ 4200ක ආදායමක්.

විදෙස් සංචාරකයන් යළිත් වරක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘතියත් සමඟ යුක්රේන සංචාරකයන් මෙරටට පැමිණීමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 4,200ක් පමණ වන බව රජය ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ කෙරුණු මෙම නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයන් 1500 කට ආසන්න පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණි  අතර ඉන්  ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 4,200 ක් පමණ වන බවද එම නියාමන ව්‍යාපෘතියේ දී හඳුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන අතර මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික ලත් හෝටල් වන බවද එළඹෙන 21 දා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවද ඒ මහතා කියාසිටී.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගත යුතු සියලු පියවර ගෙන ඇති බව සදහන් කරන ඇමැතිවරයා සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකාබලා බවද පෙන්වාදෙයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.