මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සිදු වන්නේ මෙහෙමයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.අද (16) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය

එහෙත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර එහි සේවාවන් ලබා ගැනීම සඳහා සේවාලාභීන් එම දෙපාර්තමේන්තුව අමතා වේලාවක් වෙන්කර ගත යුතුය.

කොවිඩ් වසංගතය පාලනය වන තුරු නව ක්‍රමවේදයක් යටතේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ වැඩකටයුතු  සිදු කෙරෙන බව ද ඒ මහතා වැඩිදුරටත්  කියා සිටියේය.

දුරකථන හරහා කාලය වෙන් කිරීම් තුළින් එක් දින සේවයේ වැඩකටයුතු සිදුකිරීමට නියමිතය.

මෙහිදී බැංකු හා ලීසිං සමාගම්වලට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව ද අමුණුගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එක් දින සේවයේ වැඩකටයුතු දින දෙකක් ඇතුළත සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සීඝ්‍රගාමී තැපෑලෙන් එම ලියකියවිලි පාරිභෝගියාට ලැබීමට සලස්වන බව ද කියා සිටියේය.

මීට අමතරව වේරහැර කාර්යාලය කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය සපයන කාර්යාලයක් පමණක් ලෙස විවෘත කරනු ලැබේ.

එහිදී තමන් පදිංචි හෝ සේවය කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ යන වග සනාථ කළ යුතුව ඇති අතර, අලුතින්ම රියදුරු බලපත්‍ර ලබා ගන්නා අයට එම ස්ථානයට පැමිණිය හැකිය.

නිකරුණේ මෙම දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වැලකී සිටින ලෙසද ජනතාවට දැනුම් දී ඇත.