මේ මොහොතේ රජයේ වැඩපිළිවෙළට සහය දෙන්න.බැසිල් කියයි.

ජනතාවගේ සියලු ප්‍රශ්නවල වගකීම  භාර ගැනීමට රජය සූදානම් බවත් ජනතාව නිවෙස්වල සෞඛ්‍යාරක්ෂිතව සිට තම පුරවැසි වගකීම ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් භාණ්ඩ බෙදා හැරීමේ අත්‍යාවශ්‍ය සේවා කළමනාකරණය භාර කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රෝගය පිළිබඳ දැනුම්වත් වූ මොහොතේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය සාධන බලකාය පිහිටුවීම රෝගය පැතිරයාම  මෙතෙක් දුරට   පාලනය කරගන්න හැකිවීමට විශාල පිටිවහලක් වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රෝගයෙන් මිදීමට පිළිපැදිය යුතු නීතිරීතී සහ ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුම්වත් කර ඇති බවත් ඒ ක්‍රමවේදයන් නිවැරැදිව අනුගමනයෙන් තුන්වැනි අදියරට පැමිණීමට පෙර  තත්ත්වය පාලනය කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

මේවනවිට ප්‍රතිකාර සඳහා යොදාගන්නා රෝහල් ප්‍රමාණය  27 දක්වා වැඩිකර ඇති අතර දැඩිසත්කාරක සේවා පහසුකම්ද ප්‍රමාණවත් පරිදි සකස් කරන බව ද ඔහු එහිදී කියා සිටියේය.

මෙම ක්‍රියාවලිය  වඩාත් මානුෂික මුහුණුවරකින් පවත්වාගෙන යා යුතු බවත්  වෛරසය පාලනය පිළිබඳ හා ප්‍රතිකාර පිළිබඳ අවසන් තීරණ සෞඛ්‍ය නිලධාරීන්ගේ නිර්දේශය අනුව ගනු ලබන බවත් බැසිල් රාජපක්ෂ මහතා කියාසිටියේය.

පුරවැසියකු ලෙස තමාගේ වගකීම නියමිත පරිදි ඉටුකොට මෙම රෝගය තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසද ඒ මහතා කියා සිටියේය.