මෙරටට ගේන්න හැදූ කහ කිලෝ 815 ක් අල්ලයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරන ලද ගෝනි මලු 30 ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 815 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය. එහිදී අදාල සැකකරුවන් සමඟ කුඩා ලොරි රථයක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 31 ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන්, වියලි කහ තොගය සහ කුඩා ලොරි රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.