මැතිවරණ නීතිය කැඩූ රාජ්‍ය ආයතන කිහිපයකට නීතිමය පියවර?

ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ රාජ්‍ය ආයතන 6කට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අදාළ ආයතනවල නිලධාරීන් සම්බන්ධයෙන් මූලික විමර්ෂණ දැනටමත් සිදුවෙමින් පවතින බවද ආරංචි මාර්ග පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන එසේ මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වූ ආයතන 6 අතරට අයත් බවද කියවේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වෙයි.

ඒ අනුව පසුගිය මැතිවරණය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට නියමිත අතර කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.