මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ සැලසුමක් ඇමැති විමල් හෙළි කරයි.

මහර බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන් වාතාවරණය සැලසුම් සහගතව සිදු කරමින් එම  සිදුවීම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය පිළිබඳ අන්තර්ජාතික අපවාදයක් ඇති කිරීමට ඇතැමුන්  උත්සහ දරන බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධිය කොරෝනා රෝගය ව්‍යාප්තවීමෙන් ඇතිවූ ආතතිය හෝ තදබදය හේතුවෙන් ඇතිවූවක් නොවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සංවිධානාත්මක රැඳවූවන් පිරිසක් විසින් බන්ධනාගාරය තුළ බෙදා හරිනු ලබන රිවර්ස් නමින් හඳුන්වන මත් පෙත්තක් මෙම කලබලයට හේතුවූ බව ඇමැතිවරයා පැවසීය.

හිටපු සංවිධානාත්මක අපරාධකරුවකු වූ සමයංගේ ගෝලයකු වන චතුරංග නම් අයකු විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ “රිවර්ස්” නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් බෙදා හැරීමට උත්සාහ කළ බව කලකට පෙර බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන තිබූ බව ද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ  බුද්ධි අංශ චතුරංග හා අනෙකුත් පිරිස වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේදී මෙය ඉටු කර ගැනීමට නොහැකි වූ බවද ඇමැතිවරයා පැවසීය.

එම උත්සාහයේ පසු සැලැස්මක් ලෙස මහර බන්ධනාගාරයේදී මෙය සිදු කර ඇති අතර, මෙහි මූලික අරමුණ වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ අපවාදයක් ඇති කිරීම බවද ඇමැතිවරයා පැවසීය.