මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලින් පසුගිය වසරේ  72000ක් කොටු.

පසුගිය වසරක කාලය තුළ හෙරොයින්, ගංජා සහ අයිස් කිලෝ ග්‍රෑම් 18,000ක් සමඟ සැකකරුවන් 72,000ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1943ක් සහ ඒ සම්බන්ධ සැකකරුවන් 36344ක් පසුගිය වර්ෂයක කාලය තුළදී ශ්‍රී ලංකා පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු අනෙකුත් ආයතන සිදු කළ වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ දැවැන්තම මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇත්තේ පසුගිය වසරක කාලය තුළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියි.

පසුගිය වසරක කාලය තුළදී ගංජා කිලෝ ග්‍රෑම් 15000ක් සමඟ සැකකරුවන් 33000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර , කෘත්‍රිම මත්ද්‍රව්‍ය වන අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 878ක් සමඟ සැකකරුවන් 1640ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙලෙස මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ශ්‍රී ලංකා පොලිසිය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, විශේෂ කාර්ය බළකාය, සුරාබදු දෙපාර්තමේන්තුව,  ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව, බුද්ධි අංශ ඇතුළු සියලුම ආයතන එක්ව සිදුකරන දැවැන්ත මෙහෙයුම් හේතුවෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.