මත්තල ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරැඹීමට රජය සුදානම් – ඇමැති ප්‍රසන්න රණතුංග කියයි.

අගෝස්තු 01 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට සමගාමීව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරැඹීමට රජය සුදානම් වෙයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

අගෝස්තු 01 වැනිදා සිට කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට අවශ්‍ය අති නවීන සමේ උෂ්ණත්ව හඳුනා ගැනීමේ කැමරා උපකරණ, නවීන සන්නිවේදන පද්ධති, අධෝරක්ත උෂ්ණත්වමාන, විශේෂිත මුහුණු ආවරණ, පී. පී. සී. ආවරණ හා අත්වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

උත්සවය ඊයේ (16) කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පැවැත්විණ. රුපියල් මිලියන 45ක් වටිනා මේ උපකරණ තොගය කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ප්‍රදානය කළේ සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයයි. ජපානය හා ඕස්ට්‍රේලියානු රජයන් මේ ප්‍රදානයන් අදාළ සංවිධානයට ලබා දී තිබිණි.