මගේ ප්‍රකාශය අත්වැරදීමක්  සරත් ෆොන්සේකා කියයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ මහජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එරෙහිව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ රටම අවධානයකට ලක්ව ඇති මොහොතක පාසල් සිසුන් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් සිදුක‍ළේය.

එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් මෙරට තුළ මරණ තුනක් වාර්තා වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

තම ප්‍රකාශය අත්වැරදීමක් බව  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍යයට පැවසුවේය.

කෙසේවෙතත් මහජනතාව තුළ අනියත බියක් හා කැළඹීමක් ඇතිකිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එරෙහිව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ