මගීන්ට හොඳ ප්‍රවාහන පහසුකම් සලසන්න කැපවෙන්න.ජනපති කියයි

ප්‍රවාහන සේවාව නඟා සිටුවීමේ පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට හැකි පසුබිම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට ඊයේ (18) උපදෙස් ලබා දුන්නේය.

ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කළ හැකි බවත් බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යෑමට සැලසීම හෙටම පටන් ගන්නා‘‘ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ගමනාගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතුයැයි ද හෙතෙම කීවේය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (18) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.
මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව රජයේ සහ පෞද්ගලික දෙඅංශයම අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය. දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ආරම්භ කළ යුතු බවත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මූලිකව විසඳුම් දිය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය. ඉදිරි පස් වසර තුළ ප්‍රවාහන සේවාව නගාසිටුවීමට දිගු සහ කෙටිකාලීන සැලසුම් සකස් කළ යුතු බව කියාසිටි ජනපතිවරයා නියම කරගත් ඉලක්ක වෙත ළගා වෙනවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත් යැයි පැවැසීය.