පොල්දූවේ සුදු හාමුදුරුවන්ගේ හදිසි මරණය ඝාතනයක්.

රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංස හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබා දුන් උපදෙස් පරිදි මේ පරීක්ෂණ කටයුතු පුළුල්ව ක්‍රියාත්මක කරයි.

ඝාතනයක් දැයි පැවැති සැකය මත හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් ඊයේ (10) කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වර්ෂවිතාරණ මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, එහිදී විවෘත තීන්දුවක් ලබාදෙමින් සිරුරු කොටස් වැඩි දුර පරීක්ෂා කිරීම් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධව මේ වන විට හිමිවරුන් 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව මේ වන විට භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩම කළ නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඝාතනයට ලක්වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

පසුගිය දා (06) සිට දින 2ක් පුරා අතුරුදන්ව සිටි හිමියන්ගේ දේහය පසුගිය දා (08) පස්වරුවේ දොඩන්දුව- රත්ගම කළපුවේ පාවෙමින් තිබියදී සොයාගත් අතර ඒ වන විටත් උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැට ගසා පාදවල කොන්ක්‍රීට් කැබැලි කිහිපයක් ගැට ගසා තිබූ බව රත්ගම පොලිසිය පැවැසීය.

අනතුරුව දේහය සම්බන්ධයෙන් පෙරේදා (09) ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස නියෝග කළේය.

නෙදර්ලන්ත ජාතිකයකු වන 59 හැවිරිදි ස්වාමීන් වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් උන්වහන්සේ ‘සුදු හාමුදුරුවෝ’ නමින් හඳුන්වා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරුවී තිබේ.

භික්ෂූන් වහන්සේ අති දක්ෂ පිහිනුම් ශූරයකු බවත් එවන් තත්ත්වයක් තුළ දියේ ගිලී මිය යෑම ගැටලු සහගත බව ප්‍රදේශවාසීන් රැසක්ම පොලිසියට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ඝාතන සැකයක් මතුවූ බව රත්ගම පොලිසිය කීය.

උන්වහන්සේ තමන් විසින්ම ඔරුව පැදගෙන එගොඩට ගොස් පිණ්ඩපාතය සඳහා වැඩම කරන බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ බවත් උන්වහන්සේ ඉතා සිල්වත් හිමිනමක් බවත් ප්‍රදේශවාසීන් සමඟ ඉකුත් කාලසීමාව තුළ කිසිදු ගැටලුවක් ඇති නොකරගත් හිමිනමක් බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරුවී ඇතැයි රත්ගම පොලිසිය සඳහන් කළේය.