පුංචි ලෝකාන්තයේ මෙහෙයුම හමුදාපතිවරයාගේ ඇගයුමට

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ 35 හැවිරිදි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා අභියෝගාත්මක මෙහෙයුමක නියැලුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන්ගේ වික්‍රමාන්විතභාවය කැපවීම, නොපසුබට උත්සහය හා පැවරුණු කාර්යක් නොපිරිහෙලා ඉටු කිරීමේ ගුණාංගය අගයමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින්  මෙම මෙහෙයුමට සහභාගී වූ සෙබළුන්ගෙන් කොටසක් යුද්ධ හමුදා මූලස්ථානයට කැඳවා සංකේතාත්මකව ඇගයීම් සහතික හා සම්මාන පිරිනැමුවේය.

මේ අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සිදුකළ සමස්ත මෙහෙයුමේ විඩියෝ පටයක් ද නරඹන ලදී. අදුරු මීදුම් හා සුළං සිහිත කාලගුණික තත්ත්වයක් මධ්‍යයේ අඩි 1200 වඩා ගැඹුරු ප්‍රපාතයක විශේෂ බලකා සෙබලුන් විසින් සිදුකරන ලද මෙහෙයුමට සහභාගී වූ නිලධාරින් සහ සියලුම සොල්දාදුවන්ට මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයිම් සහතික පත්‍ර හා සම්මාන ප්‍රදානය කළේය.

112 වන බලසේනාවේ සහ විශේෂ බලකායේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (06) දින සිට අඛණ්ඩව සිදුකල මෙහෙයුමේදී අතුරුදහන් වූ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ දේහය අඟහරුවදා (09) දින අඩි 1200 ක ප්‍රපාතයක තිබී සොයාගනු ලැබීය. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති කුමාර ජයපතිරණ, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක සහ විශේෂ බලකා බලසේනවේ බලසේනාධිපති තුෂාර මහලේකම් සමගින් අණදෙන නිලධාරීන් එක්ව සිදුකළ මෙම මෙහෙයුම පුරා පැය 65 කට අධික කාලයක් සිදුකරන ලදි.