පාස්කු ප්‍රහාරයෙන් පසු සූදානම් වූ දෙවැනි ප්‍රහාරයක තොරතුරු එළියට.

පාස්කු ප්‍රහාර මාලාවෙන් පසු සහරාන්ගේ කල්ලිය දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (19) අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් සමග ඇතිවුණු මත ගැටුමක් හේතුවෙන් කල්ලිය දෙකට කැඩුණු බව ප්‍රහාර මාලාවෙන් පසු අත්අඩංගුවට ගත් සහරාන්ගේ කල්ලියේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සදහන් කරනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කරනු ලැබුවේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එම සැකකරුවන් එසේ ප්‍රකාශකර ඇත්තේ සහරාන්ගේ ඉගැන්වීම් මත බවත් ඒ තුළින් ඔවුන් උත්සහ දරා ඇත්තේ බුද්ධි අංශ නොමග යවා පහසුව දෙවැනි ප්‍රහාර මාලාව එල්ල කිරීමට බවත් ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව දෙවැනි ප්‍රහාර මාලාව සහරාන්ගේ ගෝලබාලයින් එල්ල කිරීමට සැළසුම්කර තිබී ඇත්තේ 2020 නිදහස් දින උළෙල , දළදා පෙරහැර, මීගමුව රෝහල, කොළඹ නගරයේ මුහුදුබඩ ආශ්‍රිතව පිහිටි හෝටල් ප්‍රධාන වශයෙන් ඉලක්කර ගෙනය. ඊට අමතරව දිවයිනේ සෑම පළාතකම ප්‍රසිද්ධ සහ ජනතාව ගැවසෙන ස්ථානවලටද ප්‍රහාරයන් එල්ල කිරීම ඔවුන්ගේ සැළසුම වී තිබී ඇත.

එම ප්‍රහාර මාලාවට සූදානමින් 2019 වසරේ පැවැති නිදහස් දින උළෙලේ ආරක්ෂක විධිවිධාන ගැන තොරතුරු රැස් කළ 2020 වසරේදී මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට සූදානමින් සිටි බෝම්බකරුවෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටී. රිස්ඛාන් නැමැති එම සැකකරු කුරුණෑගල කැකුණුගොල්ලේ පදිංචිකරුවෙකි. ඊට අමතරව එම ප්‍රහාර මාලාවේදී තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන මොහොඩ් සරස්ඩීන් නැමැති කැකුණුගොල්ලේම පදිංචිකරුවෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ මේ වන විටත් සිටින බව සදහන්ය.

පාස්කු ප්‍රහාර මාලාවෙන් සහරාන් මියගිය පසු දෙවැනි ප්‍රහාර මාලාවට නායකත්වය දෙන්නට සහරාන් විසින් නායකයින් දෙදෙනෙක් පත්කර තිබී ඇත. පළමු නායකයා වන්නේ කාතන්කුඩියේ පදිංචිකරුවෙක් වන නෞෆර් මවුලවි නැමැත්තාය. දෙවැනි නායකයා වන්නේ මාවනැල්ලේ පදිංචිකරුවෙක් වන සාජිත් නැමැත්තාය. මේ දෙදෙනාද මරාගෙන මැරෙන ප්‍රහාරයන්වලට සූදානමින් සිටි දෙදෙනෙකි.

සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු නව නායකයින් දෙදෙනාට දෙවැනි ප්‍රහාර මාලාව එල්ලකරන තුර ආරක්ෂිතව නවාතැන් ගැනීමට සහරාන් විසින් නින්දවූර් හී නිවාස දෙකක්ද සූදානම්කර තිබී ඇත. සහරාන් ඇතුළු කණ්ඩායක් 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ලකිරීමෙන් පසු නව නායකයින් දෙදෙනා බස් රථයක නැගී මඩකලපුව බලා ගමන් කර ඇති අතර ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් බස් රථය දඹුල්ලෙන් එහාට ගමන් කර නැත. එබැවින් මොවුන් දෙදෙනා දඹුල්ලේ හෝටලයක කාමරයක් කුළියට ගෙන නවාතැන් ගෙන තිබෙන බවත් ඔවුන් ගැන ඇති වූ සැකයක් මත හෝටලයේ කළමනාකරු ඒ බව දඹුල්ල පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සූදානමින් සිටි පිරිස මෙන්ම සහරාන්ගෙන් පසු එම කල්ලියට නායකත්වය ලබාදීමට සූදානමින් සිටි දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දෙවැනි ප්‍රහාර මාලාව එල්ල කිරීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලින් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාර මාලාව 2020 වසරේදී දියත් කිරීමට සහරාන්ගේ ගෝලබාලයින් සූදානමින් සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.

නිදහස් දින උත්සවය, දළදා මාළිගාව, මීගමුව රෝහල, කොළඹ මුහුද ආශ්‍රිතව ඇති හෝටල් කිහිපයක් ඇතුළු සෑම පළාතකම තෝරාගත් වැදගත් ජනතාව ගැවසෙන ස්ථානය පිපිරවීම ඔවුන්ගේ සැළසුම වී තිබී ඇත.

එම සැළසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී තිබී ඇත්තේ සහරාන්ගෙන් පසු එම කණ්ඩායමේ නායකත්වය පැවරුණු නෞෆර් මවුලවි සහ සාජිත් නැමැති දෙදෙනාටය. සහරාන් ඇතුළු කල්ලිය පාස්කු දින ප්‍රහාර මාලාව එල්ලකිරීමත් සමග මොවුන් දෙදෙනා සැගවීඹට නින්දවූර් බලා යමින් සිටියදී දඹුල්ලේදී දඹුල්ල පොලීසියේ නිලදාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් යටතේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානමින් සිටි කුරුණෑගල කැකුණුගොල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන රිස්ඛාන් සහ සහස්ඩීන් නැමැති දෙදෙනාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. එහිදී මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දෙවැනි ප්‍රහාරයේ සැළසුම් සියල්ලක්ම හෙළිවී තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත් සාකච්ඡාවක් පවත්වමින් සදහන් කරනු ලැබුවේ දෙවැනි ප්‍රහාරක සැළසුමක් අනාවරණය වූ බවය. සහරාන්ගේ කල්ලිය දෙකට වෙන්වූ බව සදහන් කරමින් බුද්ධි අංශ නොමග යවා මෙම දෙවැනි ප්‍රහාරක සැළසුම දියත් කිරීමට ඔවුන් සූදානම්ව සිටි බවද ජාලිය සේනාරත්න මහතා මාධ්‍ය හමුවේදී සදහන් කරනු ලැබීය.

ගයාන් කුමාර වීරසිංහ

උපුටා ගැනීම
දිනමිණ පුවත්පත