පසිඳු හිරුෂාන්ට විදෙස් ප්‍රතිකාර.?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු වන පසිඳු හිරුෂාන් පසුගිය මාර්තු 05 වැනිදා එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී  සිදු වූ අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේවනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

නවක සිසුන් පිළිගැනීම සඳහා පැවැති උත්සවයක් අතරතුර දී ටයරයක් වැදීමෙන් හිසට බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන පසිඳු හිරුෂාන් සිසුවා සුවකර ගැනීම සඳහා විදේශ රටකට ගෙනයෑමට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් සඳහා ඕනෑම මුදලක් ලබාදීමට විශ්ව විද්‍යාලය තීරණය කළ බව වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමතා දුරකතනයෙන් දැනුම් දී ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිසුවාගේ සහෝදරියට ද දුරකතනයෙන් අමතා අදාළ සිද්ධිය පිළිබඳව සහ සිසුවාගේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු විමසා ඇත.

මේ අතර වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කෙළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් දස දෙනෙකු පමණ ඊයේ (10) විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවත් මේ වනවිට සැක කටයුතු සිසුන් දෙදෙනෙකු හදුනාගෙන තිබෙන බවත්ය.

මේ අතර අදාළ සිසුවාගේ තත්ත්වය ඒ ආකාරයෙන්ම බරපළ තත්ත්වයේ පවතින බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර පසිඳු හිරුෂාන් සිසුවාගේ කුඩා මොළය ආශ්‍රිතව ශල්‍යකර්මයකට ලක්කර තිබේ. කෙසේ වුවද අභ්‍යන්තර ලේ වහනය වීමෙන් මොළයේ කොටස් ඉදිමී ඇති බව සිසුවාගේ සහෝදරිය කියා සිටී.

මේ අතර මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළේ පසිඳු මුහුණදුන් අනතුර නොසැලකිල්ලක් මත සිදු වූවක් විය හැකි බවය. එහෙත් පොලිසිය ප්‍රකාශ කරන්නේ එම ටයරය හිතා මතා අදාළ සිසුවා ඉලක්ක කර පහළට යවා ඇති අතර එය කිසිදු ආකාරයකින් අනතුරක් නොවන බවයි‍.මෙම අපරාධය සාධාරණීකරණය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දිගින් දිගටම කියා සිටින්නේ එය අත්වැරදීමක් බවයි.

මෙම අපරාධය සිදුකළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ

මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටින්නේ
වැරද්දක් තිබෙන බව අප සමාජයටම පිළි ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ය.