නීතියේ ආධිපත්‍යය සුරකිනවා.ගෝඨාභයගෙන් පොරොන්දුවක්

නීතියේ ආධිපත්‍ය සුරැකීමට සැමවිටම කැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වීරවිල ප්‍රදේශයේ අද(13) පෙරවරුවේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජක්ෂ මහතා එක්වන ජනරැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් අවසන් ජනරැලිය අද පෙරවරුවේ පැවැත්වුණේ වීරවිල පොදු ක්‍රීඩාංගණයේදීයි.

එම රැලියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණ සිටි පිරිසගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

රැලිය පැවැත්වෙන අතරතුර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඊට එක්වුයේය.

මෙහිදී අදහස් දැක්වු චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, අද වන විට කිසිදු සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක නොවන බවයි.

කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන විශාල පිරිසක් මෙම මොනරාගල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කරන්නේ ජලය බවත් පැවසු ඒ මහතා, වාරි මාර්ග ක්‍රම අතීතයේ තම ආණ්ඩුව විසින් ආරම්භ කළ බවත් කියා සිටියේය.

උමා ඔය විවෘත කර නමුත් මේ වන විට එයට වතුර නැති බවත් එයට වතුර ලැබෙන්නේ 16 වන දින ජනතාව ගන්නා තීන්දුව අනුව බවත් චමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වු මහින්ද අමරවීර මහතා කියා සිටියේ, අද වන විට මැතිවරණයේ අවසාන දින කීපයට පැමිණ ඇති බවයි.

හෙටයි අනිද්දයි නොනගතේ දින දෙක බව පැවසු ඒ මහතා, පසුදින ඡන්දය පාවිච්චි කරන බවත් පැවසීය.

ඡන්ද ප්‍රතිඵලය ගැන කිසිදු ගැටළුවක් හෝ සැකයක් නොමැති බව පැවසු ඒ මහතා, ගෝඨාභය මහතා ජයග්‍රහණය කරනු ලැබුවේ 16 වන දින නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වු දිනයේ දී බවත් කියා සිටියේය.

ගෝඨාභය මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ද එකතු වී ලක්ෂ 67 කින් ජයග්‍රහණය කරන බවත් අමරවීර මහතා මෙහිදී පැවසිය.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, තම රජයක් තුළ පළමු කාර්යභාරය වන්නේ රට තුළ පූර්ණ ආරක්ෂාව තහවුරු කිරිම බවයි.

රට තුළ ස්ථාපිත කර තිබු වැඩපිළිවෙල නැවත වතාවක් ඇති කරන බවත් පැවසු ඒ මහතා, කිසිදු ත්‍රස්තවාදයකට ඉඩ නොතබන බවත් පැවසීය.

ජනතාවගේ මෙන්ම ඔවුන්ගේ දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම තමා බාර ගන්නා බවත් පැවසු ගෝඨාභය මහතා, නීතියේ ආධිපත්‍ය සුරකීමට සෑම විටම කැපවෙන බවත් කියා සිටියේය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන හා සුරක්ෂිත කරන රජයක් ලෙස ජනතා අයිතීන් ආරක්ෂා කිරීමට කැපවෙන බවත්, තරුණයින්ගේ මානව සම්පත් දියුණු කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවත් පැවසීය.