නිරෝධායන නීති කඩන්නන්ට දැඩි දඬුවම් .

නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් පනවා ඇති නිරෝධායන රීතීන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා වසර තුනක සිර දඬුවමකට හා දඩයකට ලක් කිරීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා  ඊයේ ප්‍රකාශ කළේය

එබැවින් නිරෝධායන නීති රීති පිළිපදිමින් නිවෙසේ රැඳී සිටින ලෙස ඒ මහතා ජනතාවට දැනුම් දුන්නේය. නිරෝධායන නීතිවලට පටහැනිව ඇතැම් අය කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙන බැවින් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ගෘහස්ත නිරෝධායනයට ලක්ව ඇති පුද්ගලයන් කිසිසේත් නිවෙසින් බැහැර නොයන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණ හෝ වෙනත් ආකාරයේ පරීක්ෂණවලට යොමු වන ලෙසට දැනුම් දුනහොත් වහාම ඒ සඳහා ඉදිරිපත් වන ලෙසත් ඒ මහතා කියා සිටියේය.

ගෘහස්ත නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයන්ට යම් කිසි ඖෂධමය, ආහාරමය ඇතුළු යම් කිසි ප්‍රශ්නයක් තිබේ නම් එම නිවෙස් දොරෙහි අලවා ඇති දැන්වීමේ ඊට අදාළ දුරකථන අංක සටහන් කර ඇති අතර එම අංකවලට ඇමතීමෙන් වහාම ඒ සඳහා විසඳුම් හා සහාය ලබා දීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.