නව සන්ධානය සමඟ ශක්තිමත් දේශපාලන ගමනකට අපි සූදානම් .අගමැති මහින්ද කියයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (25) රැස්විය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට තවත් පක්ෂ 5ක් එක්විම එහිදී සිදු විණි. මේ අනුව පක්ෂ 14 ක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඇතුළත් වේ.

එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අර්බුද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තුළට ඒමට ඉඩ නොතබන බව මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බව ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

ශක්තිමත් දේශපාලන ගමනක් උදෙසා නව සන්ධානය කටයුතු කරන බවත් ඊට තම පුර්ණ කැපවීම ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.