නමවැනි පාර්ලිමේන්තුව අද ඇරඹෙයි.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව පත් වූ නවවැනි පාර්ලිමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරු 3.00ට උත්සවාකාරයෙන් ආරම්භ වේ.

නවවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භය අභිමානවත් හා චාම් ලෙස පැවැත්වීම වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ. 20 වැනිදා පෙරවරු 9.30 ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන අතර එහිදි ප්‍රථමයෙන්ම කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුකෙරේ. ඒ අනුව අද පත් කෙරෙන්නේ මෙරට 11 වැනි කථානායකවරයාය.
ඉන් අනතුරුව අභිනව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් දිව්රුම් දීමේ ප්‍රතිඥාව ලබාදිම සිදුවේ. එම කටයුතු සිදුකිරිමෙන් පසුව දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් අභිනව කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඇතුළු පිරිසට සුභපැතුම් එක් කිරිමෙන් පසුව පාර්ලිමේන්තුව 20 වැනිදා පස්වරු 3.00 දක්වා අත්හිටුවීම සිදුවේ.

එලෙස අත්හිටුවන ලද පාර්ලිමේන්තුව නැවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00 ට උත්සවාකාරයෙන්ආරම්භ කරන අතර එහිදි වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමටද නියමිත වේ.
අභිනව පාර්ලිමේන්තුවේ සමාරම්භය වෙනුවෙන් පැමිණෙන ආරාධිත අමුත්තන් 20 වැනිදා පස්වරු 2.15 පමණ වනවිට අසුන්ගත යුතුය. එමෙන්ම පස්වරු 2.25 පමණ වනවිට නව පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු අතර 2.30 වනවිට නව කතානායකවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවේ. පස්වරු 2.35 ට පමණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එම මැතිණිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිත වේ.

පස්වරු 2.40 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම මැතිණිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිත අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙල අභියසදී කතානායකවරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් එම දෙපළ පිළිගැනීම සිදුවේ.

ඉන් පසුව පාර්ලිමේන්තු ප්‍රධාන ද්වාරය අභියසදී පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගයමින් ජනාධිපතිවරයා හා එම මැතිණියට ආශිර්වාද එක් කිරිමට නියමිත අතර ඉන් පසුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති ධජය ඔසවනු ලැබේ.

අනතුරුව අගමැතිවරයා, කතානායකවරයා ,පාර්ලිමේන්තු මහලේකම්වරයා , වේත්‍රධාරිවරයා විසින් ජනාධිපතිවරයා සභාවට කැදවාගෙන යාම සිදුකෙරෙන අතර පස්වරු 3.00 ට අභිනව පාර්ලිමේන්තුවේ උත්සවාකාර සමාරම්භය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමෙන් පසුව පාර්ලිමේන්තුව වෙනත් දිනයක් වෙනුවෙන් කල් තැබිම සිදුකෙරේ. අභිනව පාර්ලිමේන්තුවක සමාරම්භය සිදුකෙරෙන උත්සවය අභිමානවත්ව‍ සිදුකෙරෙන අතර එහිදි හමුදා උත්තමාචාර, රථ පෙළපාලි ගමන් කිරීම ආදිය සිදුවේ.

එහෙත් හමුදා උත්තමාචාර, රථ පෙළපාලි ආදියෙන් තොරව නවවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භය සිදුකිරීමේ කටයුතු සංවිධානය කරන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදීද විශේෂත්වයකි.එම උත්සවය සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් නවවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භය සිදුකිරීම මෙන්ම පාර්ලිමේන්තු කටයුතු ඉදිරියේදී සිදුකිරීම පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රධානීන් වැඩි අවධානයක් යොමුකර ඇති අතර ඒ සඳහා සියලු සැළසුම් සකස් කර ඇති බවත් මහ ලේකම් ධම්මික දසනායක මහතා අනාවරණය කළේය.

මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන, නිදහසින් පසු පළමු අවස්ථාව ද මෙයයි.
1947 දී ඇරඹි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන්නේ වසර 73 කට පසුවය.පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙයි.

මෙවර මහ මැතිවරණයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුව තුළ බහුතර බලය හිමිකරගත්තේ මන්ත්‍රිධුර 145 ක් සමගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය.