දිස්ත්‍රික්ක 18ක ඇඳිරිනීතිය දීර්ඝ කරයි.

 

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව රජය නිවේදනය කරයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කළින් නිවේදනය කර තිබුණි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

භාණ්ඩ මිලදී ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී නිවෙසට වී කාලය ගත කරන ලෙසත් රජය අවධාරණය කරයි.

අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩකටයුතු කිරීමට අවසර ඇත.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.

කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වෙයි.

මෙම අවවාද සහ නීතීන් පිළිපදිමින් කොරෝනා රෝගය හැකි ඉක්මනින් ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීමට සහය දක්වන ලෙස රජය ජනතාවට දැනුම්දෙයි.