දිවිනැඟුම නඩුවෙන් බැසිල් ඇතුළු විත්තිකරුවන් නිදහස්.

2015 ජනාධිපතිවරණය පැවැති සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,991කට ආසන්න මුදලක් වැය කර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය ඇතුළු නීතිපතිවරයා පවරා තිබූ අධිචෝදනා පහෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඊයේ (30) නියෝග ක⁣ළේය.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්ධුල තිලකසිරි යන මහත්වරුන් එසේ නිදොස්කොට නිදහස් කරන ලදී.

නඩුවේ දෙවැනි විත්තිකරු වන දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් එම මුදල් යොදවා ඇත්තේ දිවිනැඟුම ජාතික සභාවේ හා කළමනාකරණ මණ්ඩලයේ ඒකමතික තීරණයක් මත බව සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටි විනිසුරුවරයා ඒ අනුව දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු බැංකුවේ තැන්පත් කර තිබූ එම මුදල් දිවිනැඟුම සහනාධාරලාභීන්ගේ උන්නතිය වෙනුවෙන් වැය කිරීමේ බලය දිවිනැඟුම පනතේ වගන්ති ප්‍රකාරව විත්තිකරුවන්ට හිමි බව ⁣පෙන්වා දුන්නේය.

තවද එකී මුදල් පොදු දේපළ පනත යටතට ගැනෙන මුදල් නොවන බව පැහැදිළි සාක්කි මගින් අනාවරණයවී ඇතැයි සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා එම නිවාස ආධාර බෙදාදී ඇත්තේ පුද්ගලික අරමුණින් ක්‍රියාත්මක කළ තීරණයක් අනුව නොවන බවද සඳහන් කළේය.

තවද එය දිවිනැඟුම සහනාධාරලාභීන්ට මිස ඉන් පරිභාහිරව රටේ සියලු ජනතාව වෙත එකී මුදල් බෙදාදීමක් සිදු කර නොමැති බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේය.

දිවිනැඟුම සංවර්ධන බැංකුවේ තැන්පත් කර ඇත්තේ දිවිනැඟුම සහනාධාරලාභීන්ට අයත් ඔවුන්ගේම මුදල් නිසා එකී ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ අයිතිය දෙවැනි විත්තිකරු වූ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කිත්සිරි රණවක ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට දිවිනැඟුම පනත අනුව බලතල ඇතැයිද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

ඒ අනුව එම ක්‍රියාව වරදක් ලෙස උපකල්පනය කර විත්තිකරුවන්ට චෝදනා ගොනු කිරීමේ හැකියාවක් නොමැති බවද සිය නඩු තීන්දුවෙන් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

විත්තිකරුවන් දිවිනැඟුම පනතට පරිභාහිරව කටයුතු කර නොමැති බවත් එකී කටයුත්ත බැංකු පනත යටතට ගැනෙන ක්‍රියාවක් නිසා එකී වරද පොදු දේපළ පනතේ 12වැනි වගන්තිය යටතට ගැනෙන වරදක් නොවන බවත් විවෘත අධිකරණය හමුවේ සිය තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

නඩුවේ ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලවී ඇත්තේ දෙවැනි විත්තිකාර දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කිත්සිරි රණවක මහතා බැවින් ඔහුට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේය.

පැමිණිල්ලේ පළමු සාක්කිකරු ලෙස ඉදිරිපත් කළ සාක්කිකරු ලබා දුන් සාක්කිය අනුව එකී මුදල් වෙන් කිරීමෙන් විත්තිකරුවන් හට කිසිදු ප්‍රතිලාභයක් හිමිවී නොමැති බව අධිකරණයට පැහැදිළිව පෙනී ගිය බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

තවද එම සාක්කිය අනුව දිවිනැඟුම සංවර්ධන බැංකුව වෙත කිසිදු මුදල් ප්‍රතිපාදනයක් රජයෙන් වෙන් කර නොමැති බව සනාථ කර ඇතැයිද ප්‍රකාශ කර සිටියේය.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු බැංකුවේ තැන්පත් කර ඇත්තේ දිවිනැඟුම සහනාධාරලාභීන්ගේම මුදල් නිසා එමගින් බැංකුවට හෝ අලාභයක් සිදුව නොමැති බව මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ එච්. සුමනපාල මහතා විසින් 2015 වසරේ ජනවාරි මස 27 වැනිදා දූෂණ මර්දන ලේකම් කාර්යාලය වෙත කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදු කළ අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 /06/02 දින බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කඩුවෙල එවක හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමලාල් මහතා වෙත කිහිපවරක් ඉදිරිපත් කළ ඇප අයදුම් ප්‍රතික්ෂේපවීමෙන් අනතුරුව එම ඇප නියෝග ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන ඇප අයදුම් පත් ඉදිරිපත් කර තිබුණි.

එම ප්‍රතිශෝධන ඇප අයදුම් පත් සලකා බැලූ පූර්වගාමී කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධන කරමින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදි.

එම අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා සැකකරුවන් හට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවූ අතර, ඉන් පසුව 2016 වසරේ මැද භාගයේදී නීතිපතිවරයා විසින් අධිචෝදනා පහක් මත බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා හට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදි.