දිවයින පුරා මෙහෙයුම්වලදී යතුරුපැදි 295ක් දැලේ

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුමේ දී 8,957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මාර්තු 31වැනිදා සිට අප්‍රේල් 01 වැනිදා දක්වා කාලය තුළ සිදුකළ අදාළ මෙහෙයුම සිදු කර තිබුනි.

අදාළ මෙහෙයම්වලින් යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම යතුරුපැදි මාර්ගවල ධාවනයට නුසුදුසු තත්ත්වයේ විවිධ දෝෂ තිබූ ඒවා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බීමතින් යතුරුපැදි ධාවනය කළ 264ක් ද අත්අඩංගුවටගෙන ඇත.

අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකු, අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ 80ක්, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1,298 දෙනෙකු සම්බන්ධයෙන් ද ක්‍රියාකර ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට අමතරව බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් 875ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2,002ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,105 දෙනෙකු සම්බන්ධව ද කටයුතු කර ඇත.

යතුරුපැදිවල තිදෙනෙකු ගමන් කිරීමට අදාළව 248 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකකර තිබේ. 

ඉකුත් 31 වනදා ආරම්භ කරන ලද මෙම මෙහෙයුම් අද (03) දිනය දක්වා ක්‍රියාත්මකවීමට නියමිත බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.