ඩකා නුවරදී මහින්දට උණුසුම් පිළිගැනීමක්.

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව එරට රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා පැමිණි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ.

මෙම දෙදින නිල සංචාරයේ අගමැතිවරයා   බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්ති සැමරුමට සහ බංග්ලාදේශයේ පියා ලෙස බුහුමන් ලබන ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සර සැමරුමට එක්වීමට සූදානමින් සිටී.

බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සහ ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ 100 වන ජන්ම දිනය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කළ ‘මුජිබ් වර්ෂය’ අලළා අද පස්වරුවේ විශේෂ දේශනයක් ද පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයාට ආරාධනා ලැබ තිබේ.

මෙම නිල සංචාරයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යතුමා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික පිරිස් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීමට ද සැලසුම් කර ඇත.

දින දෙකක සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ඩකා අගනුවර හස්රාත් ශාජලාල් ගුවන්තොටුපොළ පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

බංග්ලාදේශ අගමැතිනී ශේයික් හසීනා මහත්මිය විසින් මහින්ද රාජපක්ෂ මහතා ව පිළිගත් බව වාර්තා වේ.

Close Menu