ජාති ආගම් වශයෙන් වෙන්ව කටයුතු කළත් කවුරුත් පොදු ඉරණමක් සහිත මනුෂ්‍යයින් බව මේ මොහොතේ වැටහෙනවා.අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි

2020 රාජ්‍ය වෙසක් උත්සවය ඊයේ දින අරලියගහ මන්දිරයේදී පැවති අතර “ජාති ආගම් වශයෙන් වෙන්ව කටයුතු කළත් කවුරුත් පොදු ඉරණමක් සහිත මනුෂ්‍යයින් බව වැටහී ඇති මේ මොහොතේ බුදු දහමේ උත්තරීතර ප්‍රාර්ථනාව වන සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යි ලෝකය වෙනුවෙන් අපි සැවොම ප්‍රාර්ථනා කරමු” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව වෙසක් දින සැමරුම් මුද්දර 4 ක් හා මුල් දින කවර එළිදැක්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් එම මුද්දර හා ලිපි කවර පිළිගැන්වීය. රාජ්‍ය වෙසක් උත්සවයෙදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක රාජකීය පණ්ඩිත අති පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක දර්ශනපති අති පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනායක හිමි හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය මාතලේ ධම්මකුසල නාහිමි රාජ්‍ය වෙසක් උත්සවයේදී අනුශාසනා පැවැත් වූ අතර ගරුතර සංඝරත්නය ඇතුළු මැතිඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙයට එක්වූහ.