ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක්

කොරෝනා රෝගය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය මැයි මස 11 වන දින සිට යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් රජය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බව
ඔහු පෙන්වා දෙයි.

පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10.00 ට විවෘත කළ යුතු අතර සේවයට කැඳවන සේවක සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී තිබේ.

අදාළ කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි අජිත් රෝහණ මහතා සදහන් කරයි.

මේ අතර ලබන 11 වනදා සිට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විටත් සූදානමින් සිටින බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව . ඔහු පවසයි.

එටමන්ම ලබන 11 වන දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සියයට 20 ක පමණ කාර්ය මණ්ඩලයක් සේවයට කැඳවා අදාල කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

බස්නාහිර පළාත විවෘත නොකර රටේ ආර්ථිකයට යහපත් ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බව ඇඳිරි නීතිය ඉවත්කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළේය

නමුත් අද දිනය තුළ තවත් ආසාදිතයින් පොකුරු වශයෙන් නිර්මාණය වුවහොත් ඒ ගැන වැඩි ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බවද ඒ මහතා පැවසීය.

දැනට පවතින වාතාවරණය අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් බස්නාහිර පළාතේ වැඩ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට සිදුවන බවද පැවසු අජිත් රෝහණ මහතා, සෙසු පළාත් සාමාන්‍ය පරිදි දහවල් කාලයේ දී විවෘතව පවතින බවද කියා සිටියේය.