ජනාධිපති ගෝඨාභය නවදිල්ලියේ.

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා විය.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රී ලංකා දුත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප‍්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං (VK Singh)මහතා විසිනි.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පිළිගැනීමේ උළෙල වර්ණවත් සංස්කෘතිකාංගයකින් ද අලංකාරවත් විය.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි ජනාධිපවරයා සිය පළමු විදේශ සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයකට එක්ව සිටී.

සිය සංචාරයේ දී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා හමුවන ජනාධිපවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡවල නිරත වේ.

එමෙන්ම ජනාධිපතිවරයා සෙසු ඉන්දීය ප‍්‍රභූවරුන් ද මුණ ගැසෙනු ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක්ව සිටිති.