ජනාධිපතිවරණයේදී ජනතාව තැබූ විශ්වාසය එලෙසම තබාගන්න සහය වන්න.ජනාධිපති කියයි.

ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන, ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ශීඝ්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට සෘජුවම දායක වන රාජ්‍ය, සංස්ථා මණ්ඩල හා ව්‍යස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටු දැක කාර්යක්ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ජනාධිපතිවරයා කියා එහිදී පැහැදිලි කළේය.

2005-2014 කාලය තුළ අපේ රට ආර්ථික වර්ධනය අතින් ආසියාවේ මුල් තැනක තිබුණා. ගත වූ වසර කිහිපයේ දී ආර්ථික වර්ධනය පහළ ගියා. ආර්ථික පුනරුදයක් ඇති කිරීම අද අප හමුවේ ඇති විශාලම අභියෝගයක් යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආර්ථිකය යළි ගොඩනැඟීමේ දී නව තාක්ෂණය උපයෝගී කොට ගත යුතුයි. පුහුණු ශ්‍රමය තවත් වැදගත් සාධකයක්. ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමයේ ද අවශ්‍ය වෙනස්කම් කළ යුතුයි. එහිලා තෘතීයික අධ්‍යාපනයට තරුණ තරුණියන් වැඩි වැඩියෙන් යොමු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනතාවට සේවය කළ හැකි සහ ආර්ථික වර්ධනයට වැඩි පුර දායක විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන දියුණු කළ යුතුයි. සංචාරක මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට එහිදී ප්‍රමුඛ වගකීමක් පැවරෙනවා. පසුගිය සමයේ නැඟුණු චෝදනාවලින් මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක විය යුතු යැයිද ජනාධිපතිවරයා කීවේය.

කොළඹින් පිට පළාත්වල ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කිරීම නාගරික තදබදයට විසඳුමක් ලෙස පෙන්වා දුන් රාජපක්ෂ මහතා ඔවුන්ට නව තාක්ෂණය සහ දියුණු යටිතල පහසුකම් සපයා දිය යුතු බව කියා සිටියේය.

මේ ව්‍යායාමයේ දී උද්ගත වන සියලු ගැටලුවලට විසඳුම් දීමට තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහාය වන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලිමක් ද කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.