ජනපති ගමින් ගමට යාම අරඹයි.

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී පැවසීමි.
රාජ්‍ය නිලධාරීන්ගෙන් මා බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් දීමයි. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් ආරක්ෂා කිරීමට බැඳී සිටිමි. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නා බව පෙනී යයි. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.
මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ පෙන්වා දුන්හ.
කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඔවුහු සඳහන් කළහ.
අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුලත විදුලිය දීමට පියවරගන්නා ලෙස උපදෙස් දෙනු ලැබිණි.
සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ මෙහිදී අවධානයට යොමු විය. සති කිහිපයක් තුල සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ.
කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ අතර  ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන්නැයි නිලධාරීන්ට දැනුම් දෙන ලදී.
සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටළු රැසකට විසඳුම් ලබා දීමට හැකිවිය.
කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්,  හාලි ඇල මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමට නියම කරන ලදී. ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කිරීමට, සොරගුණේ  සහ ජනානන්ද විද්‍යාලවල අඩු පාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කෙරිණ.
ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමු කරමින් ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට තීරණය කළෙමි.
කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන ලෙස උපදෙස් දෙන ලදී.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු ගොනු කොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නැයි ද නියම කෙරිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවීහූ දිවයිනේ වැඩිම ගම්මිරිස් ඵලදාවකට සහ සශ්‍රීක වගාවකට උරුමය කියති. ඉන් වැඩි පිරිස කාබනික ගම්මිරිස් වගාවට යොමුව සිටිති. ඔවුන් මුහුණ පා ඇති සියලු ගැටළුවලට විසඳුම් දීමට පියවර ගන්නා ලදී.
වී, කුරුඳු, කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදි ගොවීන්ට ඇති ගැටළු දීර්ඝ  සාකච්ඡාවට ලක්වූ අතර වන සංරක්ෂණ මැනුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි නියෝග කළෙමි.
රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටළුවලට හැකි උපරිමයෙන් විසඳුම් දුන් අතර සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් තොරතුරු විමසමි.
ප්‍රදේශයේ මහා සංඝරත්නය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, තිස්ස කුට්ටිආරච්චි, චාමර සම්පත් දසනායක, ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ආයතන රැසක නිලධාරීහූ ඇතුළු පිරිසක් සාකච්ඡා මණ්ඩපයට එක්ව සිටියහ.