ජනතා බලාපොරොත්තු ඉටුකරන්න කැපවෙන්න.ජනාධිපති කියයි.

අද(27) දින පත් කළ රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධූර තමන්ට ලැබුණු තනතුරු වරප්‍රසාද නොවන බවත් ඒවා වඩාත් වැදගත් වගකීම් ලෙස වටහා ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැත්වු, නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය අමතමිනි.

ජනතාව විශාල ජනවරමක් ලබා දුන්නේද බලාපොරොත්තු ඇතුව බවත්, එය සිහිතබා ගෙන කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේය.

දේශපාලනික වශයෙන් විශාල සහයක් ලබා දුන් පිරිස් සිටියද, ව්‍යවස්ථාවේ තිබේන සීමාවන් හේතුවෙන් සියලු දෙනාට තනතුරු ලබා දිය නොහැකි බවද එහිදි ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යධුර ලබා දුන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඉතා පහසුව ඉටු කිරීමට හැකිවන පරිදි බව පැවසු ජනාධිපතිවරයා, තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍යධූරයේ නම සම්බන්ධයෙන් නොසිතා එහි රාජකාරිය ඉටු කිරීමට කැපවිය යුතු බව ද පැවසීය.

තාක්ෂණ අංශය දියුණු කිරීමට ද වැඩි අවස්ථාවක් ලබා දී ඇති බවත් වසර ගණනක් අධ්‍යනය කර එම අමාත්‍යංශ වෙන් කල බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීම සඳහා අමාත්‍යවරුන් විසින් අවස්ථාව ලබා දිය යුතු බවත් එයට සහය ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා සිහිපත් කර සිටියේය.

රාජ්‍ය අංශය දිරිමත් කර ජනතාවට සේවය කිරීමට අවශ්‍ය, නව යුගයක් බිහි කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව පවසා සිටි ජනාධිපතිවරයා අද දින දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සිය සුබ පැතුම් එක් කළේය.