ඡායා චන්ද්‍රග්‍රහණයක් හෙට සහ අනිද්දා

මෙම වසර සඳහා දැකිය හෑකි දෙවන චන්ද්‍රග්‍රහණය ජූනි 05 වන පුර පසලොස්වක දින රාත්‍රියේ
දර්ශනයවීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමග
මෙය සිදුවන බව ඒ මහතා කියා සිටී.

මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් ජූනි 5 රාත්‍රී 11.15 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට ) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වේ. ග්‍රහණය අවසන් වනුයේ 6 දින අළුයම 2.34 ට ය. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 6 දින මධ්‍යම රාත්‍රි 12. 54 ටය.

මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ. නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු වනු ඇත. එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හදුනා ගැනීම තරමක් දුෂ්කරය.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපයේ සහ ආසියාවේ රටවල් වැඩි කොටසකට, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව,පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය සහ ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ වල රටවලට ද දිස්වේ.