චීන ශ්‍රී ලංකා ජනපතිවරුන් දුරකථන සංවාදයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමා ඊයේ (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින් සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය  ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම සහය දක්වන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිතුමාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැන ද ජනාධිපතිතුමාගේ ස්තූතිය පුද කෙරිණ.