ගෝඨාභය රාජපක්ෂ මහතා විජයග්‍රහණය අභියස.

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේවන්විට ක්‍රමයෙන් නිමවෙමින් පවතියි.
දැනට ලැබී ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අනෙකුත් සියලු අපේක්ෂකයන් අභිබවමින් ඉදිරියෙන් සිටී.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සුවිශේෂී ,සාඩම්බර ජයග්‍රහණයේ අභියසට පැමිණ තිබේ.
ඉහළ ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා විජයග්‍රහණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරනු ලබන මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ජයග්‍රහණය සාමකාමීව සමරන ලෙසටය.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

උපුටා ගැනීම
නිළ වශයෙන් ප්‍රතිඵල නිකුත් නොවුවද මේ පසු කරමින් සිටින්නේ ශ්‍රි ලාංකික රාජ්‍යයේ අතිශය තීරණාත්මක විජයග්‍රාහී බිම්කඩ මතිනි.
අනාගතයට අවැසි සෞභාග්‍යයේ දැක්ම පෙරටුව සුරක්ෂිත රාජ්‍ය පාලනයක් වෙත පියවර නැඟීම සඳහා සැරසෙන මේ මොහොත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ශ්‍රි ලාංකීය මැතිවරණ සංස්කෘතියට හඳුන්වාදුන් උත්තම පරමාදර්ශයන්ට කිසිලෙසකත් හානි නොවන ලෙස හැසිරීම අප සැමගේ වගකීමයි.
සියලු වැදගත්කමින් පිරුණු විජයග්‍රහණය ගෞරවාන්විතව ද නීතිගරුක ලෙසද සුරැකීම නූතන රාජ්‍යක් වෙත හෙට දිනයේ තබන පළමු පියවර ලෙස සලකමු.
අපහාස ,අවලාද ,තර්ජන සහ බලහත්කාරකම් අභිබවා ජාතියක් ජයග්‍රහණය කිරීමට කැපවූ සැමට අපි හිස නවා ගෞරවයෙන් ආචාර කරමු.
ඩලස් අලහප්පෙරුම
මාධ්‍ය ප්‍රකාශක
2019 නොවැම්බර් 17
උපුටාගැනීම අවසන්