ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන සත්‍ය හෙළිදරව්වක්

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූල අයුරින් අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බව සනාථ කෙරෙන ලියකියවිලි ඒ මහතාගේ නීතීඥයන් විසින් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කරනු ලැබුවේය.

එහිදී ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අනාවරණ කර සිටියේ අදාළ ලියවිලි දැනටමත් මැතිවරණ කොමිසමට භාරදී ඇති බවයි.

ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ කරුණු ප්‍රකාශ කළේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබූ ප්‍රචාර වලට ප්‍රතිචාර දක්වමිනි.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාමලේඛනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව නොමැති බව සඳහන් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.

එය සමාජ ජාලා ඔස්සේ සංසරණය වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙහි අවධාරණය කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු නොවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ සහතිකවල ඡායාරූප මෙන්ම ඒ මහතාගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කරමින් අමෙරිකානු රජය තැබූ මුද්‍රාව ඇතුළත් පිටුවද නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රදර්ශනය කර ඇත.

අද මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අවධාරණය කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කිරීමට අදාළ සියලු කටයුතු නීත්‍යානුකූලව සිදු වී ඇති බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගත් බව සනාථ කෙරෙන ලියවිලි ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කරන ලෙස බලකරමින් අද කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී හිමිනමක් උපවාසයක් ආරම්භ කළ අතර මෙම මාධ්‍ය හමුවේදී එම හිමියන්ගෙන් ඉල්ලීමක්ද සිදුකෙරුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය අවසන් වූ පසු අමෙරිකා එක්සත් ජනපදය බලා යාමට ගුවන් ටිකට් පතක් දැනටමත් වෙන් කරවාගෙන ඇති බව දක්වමින් සමාජ ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත අසත්‍යයක් බව ද ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දෙයි.

මෙම අසත්‍ය ප්‍රචාරවලට බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන ලෙසද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ගෙනයන මඩ ප්‍රචාරයේදී වැඩි වශයෙන්ම භාවිත කරන වස්තුවිෂය බවට පත්ව ඇත්තේ පුරවැසිභාවයයි.