ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරමින් කියා සිටී.
දීර්ඝ කාලයක සිට වගා කන්න ආරම්භයේ දී පළාත් බොහොමයක පොහොර ප්‍රශ්නය පැන නැගෙන අතර කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ඊට පිළියම් සෙවිය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත.
රසායනික පොහොර භාවිතය නිසා පසෙහි ස්වභාවය විශාල වෙනසකට ලක්ව ඇති බවත් වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීහූ අධික පොහොර භාවිතයට හුරු වි සිටිති.

මේ තත්ත්වයෙන් ක්‍රමානුකූලව මිදී කාබනික පොහොර භාවිතයට යොමුවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
පොහොර සැපයුම හා බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සොයා බැලීමට අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණි.

යල කන්නයේ වගාව ආරම්භයත් සමග පොහොර පිළිබඳ ගැටළුව නැවතත් පැන නැගී තිබේ. වී සඳහා ඉහළ මිලක් ලැබීම නිසා ගොවීහූ වැඩිපුර වී වගාවට යොමුව සිටිති.

කෘෂි ආනයන සීමා කිරීමත්, වතු වගාව සහ එළවළු පළතුරු සහ ධාන්‍ය වගා කෙරෙන බිම් ප්‍රමාණය ඉහළ යාමද පොහොර ප්‍රශ්නයට මුල්වී ඇති බව නිලධාරීහූ සහ ආණ්ඩුකාරවරු පෙන්වා දුන්හ.

පොහොර භාවිත කළ යුතු ආකාරය පිළිබඳව කෘෂි නිලධාරීන් සහ මාධ්‍ය මගින් ගොවීන් දැනුවත් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අතීතයේ මෙන් රටේ සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලුවලින් නිදහස් වීමට හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනයට විශේෂ අවධානය යොමු කරන ලෙසත්, කාබනික පොහොර ඉක්මණින් භාවිත කළ හැකි වගා මොනවාද යන්න සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

කාබනික පොහොර යෙදා ගනිමින් අස්වද්දා ඇති වගාබිම් අත්කරගෙන ඇති ප්‍රගතිය සොයා බැලීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම පිණිස අස්වනු මිලදී ගැනීමේ දී වැඩිමිලක් නියම කිරීමටත් ඒ සඳහා සහන සැලසීමටත් අවධානය යොමු වී තිබේ.

කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.