කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම රටවල් දහය අතරට



ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය මූලික කර ගත් ලෝවි නැමැති ආයතනය විසින් ලෝකයේ රටවල් 100 කට වැඩි ප්‍රමාණයක කාර්ය සාධනය ඇඟයීමට ලක් කරමින් කළ සමීක්ෂණයකට අනුව කොවිඩ් 19 වයිරසය  පාලනය කිරීම සඳහා සාර්ථකව ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ පෙළේ රටවල් දහය අතරට ශ්‍රී ලංකාව නම් ලබා ඇත.

ශ්‍රී ලංකාව මෙහිදී 76. 8ක සාමාන්‍යයක් ලබාගෙන ඇත. කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා සාර්ථකව ප්‍රතිචාර දැක්වූ ලොව හොඳම රට බවට නවසීලන්තය පත්ව ඇත.
වියට්නාමය, තායිවානය, තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව, ලැට්වියාව ද මේ වාර්තාවට අනුව මුල් රටවල් දහය අතරට පැමිණ තිබේ.එම සමීක්ෂණයට අනුව ප්‍රථම රටවල් දහය අතරට අයත් එකම දකුණු ආසියාතික රට බවට පත්වන්නේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වයකි.
මෙහිදී ලෝවි ආයතනයේ පර්යේෂකයන් රටවල් සියයක පමණ කොරෝනා මර්දන ක්‍රියාමාර්ග මෙන්ම හඳුනා ගැනීමේ පරීක්ෂණ අනුපාතය සහ මරණ අනුපාතයද සැලකිල්ලට ගෙන තිබේ. මේ අතර චිලී, යුක්රේනය, ඕමානය, පැනමා, බොලිවියාව, එක්සත් ජනපදය, ඉරානය, කොලොම්බියාව, මෙක්සිකෝව සහ බ්‍රසීලය පිටු පසින් සිටින රටවල් වෙයි. ඉන්දියාව 94 වැනි ස්ථානයේ පසු වන අතර බ්‍රිතාන්‍යය 86 වැනි තැනට පත්ව ඇත.