කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වළක්වැගැනීමට පංචායුධ‘ ක්‍රමවේදය අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුයි.

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (09) පැවැත්විණි.

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වළක්වැගැනීමට නම් සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම, නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම යන ‘පංචායුධ‘ ක්‍රමවේදය අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු මෙහිදී කියා සිටියහ.
කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිවරයා මෙහිදී විශේෂඥ වෛදවරුන්ගේ විමසූ අතර එහිදී ඔවුන් පවසා සිටියේ දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බවයි.

එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමටත්, සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබාගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද ඔවුන් පෙන්වා දුන්හ.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණ අතර මේ වන විට වෛරසය ආසාධිත පුද්ගලයන් ලඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits) ප්‍රමාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.